ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හෙළ උරුමය නඩු මගට

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව හෙළ උරුමය නඩු මගට

දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නඩු මගට බැසීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි.

ජන මතය විමසීමකින් තොරව ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉඩ නොදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බවයි ජාතික හෙළ උරුමය බීබීසීයට කියා සිටියේ.

මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමක දී කැබිනට් අමාත්‍ය චම්පික රණවක කියා සිටියේ ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල ඉවත් කිරීමට පෙර ජනමතය විමසීමක් නොකළහොත් එය 'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්' බවට පත් වන බවයි.

'ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්'

‘ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුවේ ප්‍රධානියා කියන එක ඉවත් කරනවා නම් ඒකට ජනමතවිචාරණයක් අවශ්‍යයි. මොකද, ජනාධිපතිවරයා ජනමතයෙන් පත් වන කෙනෙක්. පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව සතුව. ඒ නිසා පරමාධිපත්‍යයට අදාළ බලයක් ඉවත් කරනවානම් ඒක ජනතාවගෙන් ඇසිය යුතුයි. ජනතාව කැමතිනම් ඒක ප්‍රශ්නයක් නැහැ. කිහිප දෙනෙකුට එකතුවෙලා ඒක වෙනස් කරන්න බැහැ. එහෙම වුනොත් ඒක ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වෙනවා.’ අමාත්‍ය චම්පික රණවක පැවසීය.

මේ වන විට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කර ඇත්තේ සියලු දෙනා එක් වී සකස් කර ගත් ව්‍යවස්ථා සංශෝධනය නොවන බවත් එය කිසිසේත්ම අනුමත වීමට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා බීබීසීයට කියා සිටියේය.

‘කළ හැකි එකම දේ තමයි ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලතල ඉවත් කිරීම. එවැනි බලතල අටක් අපි හඳුනාගෙන තියෙනවා. ඇමතිවරු ඕන ගානක් පත් කරන්න තියෙන අයිතිය, ඕනෑම කෙනෙක් ඇමතිවරයෙක් කරන්න තියෙන අයිතිය, පාර්ලිමේන්තුවට වග නොකියා කටයුතු කිරීමට සහ එය විසුරුවන්න තියෙන අයිතිය, අධිකරණ විනිසුරුවන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමට ඇති අයිතිය, ජනාධිපතිවරයාට නඩු පවරන්න බැරි නීතිය. මෙන්න මේ වගේ කාරනා අටක් අපි හඳුනා ගත්තා.’ ඔහු පැවසීය.

අහස් මාලිගා

ජනාධිපතිවරයා සතුව තබා ගත යුතු බවට ඇතැම් බලතල තමා හඳුනා ගෙන තිබේදැයි මෙහිදී බීබීසීය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

‘පැහැදිලිව ම ඔව්. ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම සේනාධිනායක. ඔහු රටේ ආරක්ෂාවට වග කිව යුතුයි. ඒ වගේම රටේ විධායක බලය කොටස් දෙකකට බෙදී ගිහින් තියෙනවා. එකක් පළාත් සභාවල විධායක බලය, අනික ආණ්ඩුවේ විධායක බලය. ආණ්ඩුවේ විධායක බලය බෙදා හදා ගන්න පුළුවන්. නමුත් පළාත් සභාවල විධායක බලය එහෙම බෙදා ගන්න බැහැ. ඒක ආණ්ඩුකාරවරුන් යටතේ ජනාධිපතිවරයා සතුව තිබිය යුතුයි.’ චම්පික රණවක ඇමතිවරයා පැහැදිලි කළේය.

‘කළ හැකි එකම දේ තමයි ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල ඉවත් කරලා ඒක ප්‍රජාතන්ත්‍රකරණය කිරීම. ඒ වගේම ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර සමබරතාවයක් ඇති කර ගැනීම. ඒ සඳහා ප්‍රයෝගිකව වැඩ කිරීම තමයි අපේ යෝජනාව. අහස් මාලිගාවලින් වැඩක් නැහැ.’ පාඨලී චම්පික රණවක තවදුරටත් පැවසීය.