විස්සයි විස්ස ඉදිරි තරඟ රූපවාහිනියෙන්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරඟ දෙක ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් පෙන්වීම සම්බන්ධව සුබදායී බලාපොරොත්තු තැබිය හැකි බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන පවසයි.

රූපවාහිනී සභාපතිවරයා මේ බව පැවසුවේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉන්දියාවේ දී ඇරඹි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ජාතික රූපවාහිනියේ අයි නාලිකාවෙන් නොපෙන්වීම පිළිබඳ බීබීසිය විමසා සිටි අවස්ථාවේ දී ය.

'මේ තරඟ රූපවාහිනියෙන් පෙන්වීම සඳහා අවසර දීමට ස්ටාර් ටීවී අපෙන් ඉල්ලා සිටි මුදල අති විශාලයි. අපි මෙහෙ සේවකයන්ට පඩි ගෙවන්නෙත් අමාරුවෙන්. ඉතින් ඒ වාගේ වියදමක් අපට තනිවම දරන්න අමාරුයි'

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සැම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් ම දේශීයව පසුගිය කාලයේ විකාශය වූ අතර ඊයේ ඉන්දියාව සමග පැවති තරඟය කිසිදු නාලිකාවක් විකාශය නොකිරීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පළ කරනු දක්නට ලැබුණි.

නව රජය බලයට පත්වූ පසු පුද්ගලික නාලිකා අධෛරිමත් කරමින් ක්‍රිකට් තරඟ රජයේ නාලිකා මගින් විකාශය කල යුතු බවට නියෝගයක් ද දී තිබිණ.

ඇමති හරීන් ප්‍රනාන්දු මැදිහත් වෙයි

ඊයේ තරගය ජයග්‍රහණය කිරීම පිළිබඳව තම පුද්ගලික ෆේස්බුක් අඩවිය හරහා ශ්‍රී ලංකා කණ්ඩායමට සුභපැතුම් පණිවිඩයක් එක් කල අමාත්‍ය හරීන් ප්‍රනාන්දුටද ක්‍රීඩා ලෝලීන් සිය විරෝධය පළකර තිබු අතර එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා තිබුණේ තමන් මේ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

ඒ අනුව අද උදෑසන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා යටතේ ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තරඟාවලියේ ඉතිරි තරඟ පෙන්වීම සදහා අවශ්‍ය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

මේ සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් හරහා අනුග්‍රහය දැක්වීමට ඇමති හරීන් ප්‍රනාන්දු ඉදිරිපත්වීම පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ කියා සිටියේ කෙසේ වෙතත් මේ වියදම තනිව දැරීමට ශ්‍රී ලංකා රූපවාහිනියට හැකියාවක් නොමැති බැවින් එවන් අනුග්‍රාහකයකු ගේ ඉදිරිපත්වීම මහත් ශක්තියක් වන බව ය.

'මේ සියලු තත්ත්වයන් මත අපත් සියයට අනූවක්ම හිතන්නේ ඉදිරි තරඟ දෙක ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට අප සියයට අනූවක පමණ විශ්වාසයක් තබා ගත හැකි බවයි.'

ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලැබූ විස්සයි විස්ස තරග ජයග්‍රහණය හේතුවෙන් නැවතත් අපේ ප්‍රේක්ෂකයන්ට 'ක්‍රිකට් උණ' වැලඳී ඇතැයි පැවසූ රූපවාහිනී සභාපතිවරයා ප්‍රේක්ෂකයන්ට සාධාරණයක් ඉටු කරනු සඳහා හැකි සෑම උත්සාහයක් ම දරන බව ද අවධාරණය කළේ ය.

'අප මේ පිළිබඳ ස්ටාර් ටීවී ආයතනය සමඟ තවමත් සාකච්ඡා පවත්වමින් සිටිනවා. මෙම අවසරය සාධාරණ ලංසුවකට ලබා ගන්නට අප සැම උත්සාහයක්ම දරනවා.' යි ඔහු පැවසුවේය.

ඉන්දීය කණ්ඩායම ඉන්දියාවේදී පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලැබූ විස්සයි විස්ස තරග ජයග්‍රහණය සමඟ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව නවසීලන්තයේදී ශ්‍රී ලංකාවට අහිමිවූ විස්සයි විස්ස ලැයිස්තුවේ මුල්තැන නැවතත් ශ්‍රී ලංකාවට හිමි විය. තරග තුනකින් සමන්විත ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.