ඓතිහාසික කාර්යයට දායකවීම ගැන ස්තුතියි - අගමැති

'ඓතිහාසික කාර්යයට සියලු දෙනා දායක වුනා'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඓතිහාසික කාර්යයට සියලු දෙනා දායක වුනා'

විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ 'ඓතිහාසික කාර්යයට' දායකවීම පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු දෙනාට තුති පුදන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

කාරක සභා විවාදයෙන් අනතුරුව සංශෝධනයේ තුන් වෙනි වර කියවීම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ.

එයට පක්ෂව ඡන්ද 212 ක් ලැබුණු අතර, විරුද්ධව එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිත කළේය. යෝජානවා පිලිබඳ දෙවැනි වර ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 215 ක් ලැබී තිබුණි.

මැතිවරණ ක්‍රමය

සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර මන්ත්‍රීවරයායි. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් කුමාර ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

'20 වැනි සංශෝධනයත් සම්මත කළ යුතුයි'
ඡායාරූප ශීර්ෂ වැකිය, '20 වැනි සංශෝධනයත් සම්මත කළ යුතුයි'

තුන්වෙනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරු දස දෙනකු සභා ගර්භයේ සිටියේ නැත.

එය සම්මත වීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ඒ ආකාරයෙන්ම සම්මත වනු දැකීම සිය අභිප්‍රාය බව සඳහන් කළේය.

විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය පළ වී තිබූ අතර, ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැරුණු විට අනෙක් සියලු සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතු බව ඔවුන්ගේ තර්කය වී තිබුණි.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනකු ස්වාධීන පුද්ගලයන් විය යුතු බවත්, හත් දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවටත් අවසානයේදී දෙපාර්ශවය එකඟත්වයකට පැමිණ තිබේ.

එම එකඟත්වය පිළිබඳව තමාගේ එතරම් මනාපයක් නොමැති බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, සිය ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බැවින් සම්මුතියකට පැමිණීමට සිදු වූ බව සඳහන් කළේය.