අලුත් ව්‍යවස්ථාවට 'විරුද්ධ විය හැක්කේ ද්‍රෝහියකුට පමණයි'

  • රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
  • හම්බන්තොට සිට
''මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්''
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්''

කුමන ආකාරයේ අභියෝග එල්ල වුවත් මේ වසර ඇතුළත යෝජිත නව ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

ඒ සඳහා කටයුතු කරනු වස් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි ප්‍රතිපත්තියකට පැමිණ ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු වූ දොස්තර රන්ජිත් අතපත්තු වෙනුවෙන් බෙලිඅත්ත කාර්මික විද්‍යාලයේ පැවති උපහාර උළෙලක් අමතමින්.

රටේ සියලු ජනතාව නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින බව පැවැසූ අමාත්‍යවරයා රටේ ප්‍රධාන පක්ෂ දෙකම ව්‍යවස්ථා වෙනසක් සිදු කරන බවට ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දී ඇති බවයි සඳහන් කළේ.

''ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරන්න. එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වුනා මේක වෙනස් කරනවයි කියල. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 නොවැම්බර් මාසයේ අපිත් එක්ක දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉස්සරහ ප්‍රතිඥාවක් දුන්න අපි මේක වෙනස් කරනවයි කියලා.''

ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කිසියම් හෝ අයකුට ඒ සඳහා විරුද්ධව කටයුතු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

'රට ගිනි තියන්න'

''මුළු රටේම ජනතාව අද ඉල්ලනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපිට ඕන කියලා. මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. එහෙනම් කවුද මේකට විරුද්ධ වෙන්නේ. මේකට සදාචාර සම්පන්න විදියට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කෙනෙකුට, මේ රට නැවත ඒකාධිපතිවාදයකට ගෙනිහිල්ලා, මේ රට ගිනි තියන්න මේ රටේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කරන ද්‍රෝහියෙකුට විතරයි මේකට විරෝධතාව ප්‍රකාශ කරන්න පුළුවන්''

දේශීය අවශ්‍යතාවයන්ට සහ ජනතා අභිමතාර්ථයන්ට සරිලන ලෙස නව ව්‍යවස්ථාව සැකසෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

''අපි හදන ව්‍යවස්ථාව පරගැති ව්‍යවස්ථාවක් නොවෙයි. පළමු මාස තුනේ අපි කමිටුවක් පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලා සියලු දෙනාගේ අදහස් ඒකට ඇතුළත් කරන්න පුළුවන්. මේ රටේ ප්‍රභූවරුන්ට අවශ්‍ය විදියට නොවෙයි එක හදන්නේ. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ආශීර්වාදය තිබෙනවා''

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල් කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බෙදීමක් ඇති වී තිබෙන බවට පල වී ඇති වාර්තා බැහැර කරන බවත් අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.