ශ්‍රී ලංකා රජයේ මුදල් "අවභාවිතය": ගෝඨාභයට එරෙහි නඩුවට අදාළ මෙතෙක් තොරතුරු

GR-FB/BBC

ඡායාරූප මූලාශ්‍රය, Facebook/GR/BBC

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වූ, ඩී ඒ රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව, 2014 වසරේ නොවැම්බර් 6 වන දින වීරකැටියේදී ඔහුගේ නමින් අනුස්මරණ කෞතුකාගාරයක් විවෘත කෙරිණි.

කෞතුකාගාරය සඳහා එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් අපහරණය කළේ යැයි චෝදනා එල්ල වී තිබේ.

රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන් 2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ විගණකාධිපතිවරයා සඳහන් කරයි.

කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි.

ගෝඨාභය රාජපක්ෂට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන අය අදාළ නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

නඩුවේ ගමන් මග

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය

2015 අගෝස්තු 28

  • සිය ආයතනය වෙත රුපියල් මිලියන 81.3 කට ආසන්න මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්, රාජපක්‍ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනමේ සභාපතිවරයා වෙත ලිපියක් යවන ලදී.

2015 සැප්තැම්බර් 14

  • තමන් ගෙවීමට එකඟ වූයේ, රුපියල් මිලියන 27.5 ක පමණ මුදලක් බව එම පදනම, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පිළිතුරු ලිපියක් මගින් දන්වා තිබිණි.

2016 ජුනි 01

  • ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට රුපියල් මිලියන 56.3 ක් ගෙවිය යුතු බව සඳහන් කරමින්, මෙදින රාජපක්‍ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික සහ සමාජ සේවා පදනම වෙත එන්තරවාසි යොමු කරන්නට යෙදිණි.

2017 ජුලි 17

  • රජයේ ප්‍රධාන තක්සේරුකරු, අදාළ කෞතුකාගාරයේ සහ ස්මාරකයේ ඉදිකිරීම් වටිනාකම රුපියල් මිලියන 33.8 ට ආසන්න බවට ඇස්තමේන්තු ඉදිරිපත් කළේය.

2017 නොවැම්බර් 29

  • ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකට අනුව, ඔහුට එරෙහිව පොදු දේපොළ නීතිය යටතේ නීතිමය පියවර ගැනීම දෙසැම්බර් මස 6 වන දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය මෙදින අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Facebook/Mahinda_Rajapaksha

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Mahinda_Rajapaksha

2017 දෙසැම්බර් 16

  • ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් යෙදවීමේදී, සංස්ථාව සමග කිසිදු වාචික හෝ ලිඛිත ගිවිසුමක් ඇති කරගෙන නැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
  • ඒ පිළිබඳ විමර්ශන ආරම්භ වූ වහා ම, අදාළ පදනම, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් ලබා ගත් මුදලින් කොටසක් නැවත ගෙවීමට කටයුතු කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කෙළේය.
  • එකී ඉදිකිරීම් සඳහා නාවික හමුදා සෙබළුන් යොදවා ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් නාවික හමුදාපතිවරයාට කළ දැනුම් දීමක් මත බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද හෙතෙම අධිකරණය හමුවේ පැවසීය.

2018 පෙබරවාරි 06

  • ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මැදමුලන ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදිකිරීම පිළිබඳව විගණකාධිපතිවරයා 'විශේෂ වාර්තාවක්' ඉදිරිපත් කරනු ලැබූ අතර එමගින් පහත සඳහන් නිගමන ඉදිරිපත් කරයි.
  • මුදල් ගෙවීම හෝ මුදල් ප්‍රතිපාදනය කිරීම පිළිබඳ කිසිදු ලිඛිත හෝ වාචික ගිවිසුමකින් තොරව රජයේ මුදල් වැය කරමින් ඉදිකර රජයේ වියදමක් ලෙස සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කර තිබූ මෙම ක්‍රියා ඉදිකිරීම් ක්‍රියාවලිය 1982 අංක 12 දරන පොදු දේපළ පනත ඇතුළු අදාළ නීති හා රෙගුලාසිවලට පටහැනි ක්‍රියාවක් බව.
  • මෙලෙස රාජ්‍ය සම්පත් රජයේ නිලධාරීන්ගේ අවශ්‍යතාව හා මගපෙන්වීම අනුව නිත්‍ය ලෙස හෝ තාවකාලිකව පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ඉදිවීම රාජ්‍ය සම්පත් අයථා පරිහරණයේ යෙදවීමක් සේ සලකා විධිමත් නෛතික ක්‍රියාවලියක් මගින් රජයට අයවිය යුතු සියලු ම වටිනාකම් අය කර ගත යුතු ද යන්න පිළිබඳව අවධානය යොමු කළ යුතු බව.
  • ඉදිරියේදී මෙලෙස රාජ්‍ය සම්පත් අතිශය පෞද්ගලික කරුණු වෙනුවෙන් යොදවා ගැනීම මුළුමනින් ම පාලනය කරනු වස්, මෙම අවිධිමත් ක්‍රියාවලියේ යෙදුණු සහ ඒ සඳහා අනුබල දුන් සියලු ම බලධාරීන්ට හා නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය හා නෛතික පියවර ගත යුතු බව.
  • අතිශය පෞද්ගලික ඉදිකිරීමක් වූ මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීමට තීරණය කළ නිලධාරීන්ට ඒ සඳහා වූ අධිකාරි බලයක් තිබුණේ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කළ යුතු බව.
  • ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 124 රෙගුලාසිහි සඳහන් කරුණු නොසලකා සංස්ථාවේ සභාපති ඇතුළු බලධාරීන් විසින් කරනු ලැබ ඇති මෙවැනි කටයුතු ද රට තුළ මූල්‍ය විනය පිරිහීමට ප්‍රබල ලෙස බලපෑම් කර ඇති හෙයින් මෙම අවිධිමත් ක්‍රියාවලියට වග කිවයුතු පාර්ශවයන් වෙතින් මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තුව වෙත උත්තර ලබා ගත යුතු බව.

2018 ජුනි 14

  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් දැනට පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරියටත් බලාත්මක කිරීමට අභියාචනාධිකරණ විනිසුරුවරු තීරණය කළහ.
  • එදින පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමින්, චෝදනා සම්බන්ධයෙන් ජුනි 25 වන දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දිය යුතු බව අධිකරණය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට දැනුම් දී තිබිණි.

තවත් පුවත්:

Facebook/Gotabhaya_Rajapaksha

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gotabhaya_Rajapaksha

2018 ජුනි 25

  • ජුනි 14 වන දා අධිකරණය කළ දැනුම්දීමට අනුව, රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණි අතර පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ දීමෙන් අනතුරුව පිටව ගියේය.

2018 ජුලි 20

  • එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැප්තැම්බර් 07 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී. මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධීර යන පුද්ගලයන්ට සිතාසි නිකුත් කළේය.
  • අදාළ පැමිණිල්ල මෙදින කැඳවූ අවස්ථාවේදී, චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.

2018 අගෝස්තු 24

  • ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනාට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුවේ, සැප්තැම්බර් 07 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදීය.

2018 අගෝස්තු 27

  • ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනාට සැප්තැම්බර් මස 12 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කරනු ලැබීය.

සබැඳි පුවත්:

Facebook/Gotabhaya_Rajapaksha

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Gotabhaya_Rajapaksha

2018 සැප්තැම්බර් 07

  • ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පවරා ඇති බැවින්, තම අධිකරණයේ පවතින නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

2018 සැප්තැම්බර් 10

  • අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසියට අනුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය හමුවේ පෙනී සිටියහ. එහිදී විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය නියෝග කළේය.
  • එමෙන් ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ අතර, විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාර දිය යුතු බවට ද නියෝගයක් නිකුත් කළේය.

2018 ඔක්තෝබර් 19

  • තමන් ඉල්ලා සිටි ලේඛන සියල්ල ලබා දීමට පැමිණිලිකාර පාර්ශවය කටයුතු කර නොමැති බව විත්ති පාර්ශවය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන් අතර, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීම සඳහා නොවැම්බර් 9 වන දින නැවත නඩුව කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය.

2018 නොවැම්බර් 09

  • රුපියල් මිලියන 34කට ආසන්න රජයට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දෙසැම්බර් මස 14 වන දා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අවසර දුන්නේය.
  • මෙම නඩුවේ ලැයිස්තුගත කර තිබෙන ඇතැම් ලේඛන මේ දක්වා පැමිණිලි පාර්ශවය තමන් වෙත ලබා දී නොමැති බව විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දැක්වූයේය. ඊට පිළිතුරු දෙමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ, ප්‍රායෝගිකව ලබා දිය හැකි ලේඛන සියල්ල විත්තිය වෙත ලබා දීමට තමන් කටයුතු කරන බවය.
  • ඒ අනුව නිසි පරිදි ලේඛන ලැබී තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත නොවැම්බර් 27 වන දා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.
Facebook/Mahinda_Rajapaksha

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Mahinda_Rajapaksha

2019 ජනවාරි 17

  • නඩුව ජනවාරි 22 වන දින සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.
  • නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාක්ෂිකරුවන් 15 දෙනා අතරින් කීප දෙනෙකු නඩු විභාගය ආරම්භ වන කාල සීමාවේ විදේශගත වීමේ සූදානමක් පවතින අතර, එසේ වුවහොත් නඩු විභාගය පවත්වාගෙන යාමට බාධා එල්ල වන බවය.
  • නඩු විභාගය පැවැත්වෙන කාල සීමාවේ විදේශගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස අදාළ සාක්ෂිකරුවන්ට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.

2019 ජනවාරි 22

  • නීතිපතිවරයා ගොනු කර තිබෙන මෙම නඩුව විභාග කිරීම සඳහා, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කරමින් ප්‍රකාශ කළේය.
  • ඒ අනුව මෙම මූලික විරෝධතාව පිළිබඳව රජයේ පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි 31 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.
  • විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබීය.
  • සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සුදුසු නියෝග ලබා දෙන මෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, "අධිකරණ ශාලාව තුලට සාක්ෂිකරුවන්ට පිවිසීමට තිබෙන්නේ එක් දොරටුවක් පමණයි. එම දොරටුව අසලත් අධිකරණ ශාලාව තුළ විත්ති කූඩුව අසලත් සුදු ඇඳුම් ඇඳගත් පෞද්ගලික ආරක්ෂකයින් සිටිනවා. මොවුන් මෙසේ රැඳී සිටින්නේ පැමිණිල්ලේ හෝ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවට නෙවෙයි," යනුවෙන් පවසමිනි.
  • මෙම කරුණ පිළිබඳව මීළඟ නඩු දිනයේදී සුදුසු නියෝග ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පැවසීය.

2019 ජනවාරි 25

  • ජනවාරි 31 වන දින නැවත කැඳවීමට දින නියම වුවද, සාක්ෂිකරුවන් තිදෙනෙකුට රාජකාරිමය අවශ්‍යතා සඳහා විදේශගත වීම සලකා බැලීමට මෙදින නඩුව නැවත කැඳවන ලදී.
  • ජනවාරි 22 දින නඩුව කැඳවූ අවස්ථාවේදී, නඩුවේ පළමුවන විත්තිකරු ගෝඨාභය රාජපක්ෂට, අධිකරණ ශාලාව තුළ අතට අත දී ආචාර කළ, මෙම නඩුවේ 67 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටින, භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ඩබ් එම් ඒ ඉද්දවෙලට සිය වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගෙන අධිකරණ ශාලාව තුළ කටයුතු කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තරයේ අවවාද කළේය.
  • විනිසුරු මඬුල්ල අදාළ කරුණ පිළිබඳව විමසූ අවස්ථාවේදී, මේ සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව අයැද සිටින බව, ඩබ් එම් ඒ ඉද්දවෙල විවෘත අධිකරණයේ කියා සිටියේ ය.