ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය විසඳීමට ජනපති දුන් සහතික කාලය තව දිනකින් අවසන්

PMD

ඡායාරූප මූලාශ්‍රය, PMD

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව තව දින 7 කින් ස්ථිර ලෙස අවසන් කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබිණි.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් කිරීමට සහතික වූ දින 7, අඟහරුවාදා (11) අවසන් වූ අතර මේ වන විට මෙම අර්බුදය ඉන් ඔබ්බටත් දිග්ගැස්සෙන ආකාරයක් පෙනෙන්නට තිබේ.

සිකුරාදා (07) පෙත්සම් විභාගය අවසන් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ, තීන්දුව පසු දිනක ප්‍රකාශයට පත් කරන බවය.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතර ම එම තීන්දුව සමග ගත යුතු ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ඉරිදා (09) පොළොන්නරුවේදී කියා සිටියේය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ, අගමැතිවරයෙකුගේ සහ ඇමති මණ්ඩලයක ක්‍රියාකාරීත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවය.

එක්සත් ජාතික පෙරමුණ ද අධිකරණ තීන්දුව කල්යාම හේතුවෙන් ලබන 13 වන දා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන රැලිය කල් තැබූ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු බීබීසි සිංහල සේවයට පැවසීය. ඒ අනුව එම රැළිය 17 වන සඳුදා පවත්වන බව ඔහු සඳහන් කළේය.

මේ ගැනත් දැනගන්න:

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳුදා අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවයකදී ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

"අපි බලාපොරොත්තු වුණා, ඡන්දය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද නැත්නම් හෙට ලැබෙයි කියලා, එත් අපේ නීතිවේදී මහත්වරු අපිට කියල තියෙන්නේ, මේක ලැබෙන කොට බදාදා, නැත්නම් බ්‍රහස්පතින්දා, නැත්නම් සිකුරාදා වෙන්න පුළුවන් කියලා. මේ නිසා අනිත් සිවිල් සංවිධාන අපිත් එක්ක කතා කළා අපෙන් එක ඉල්ලීමක් කළා මේ නඩු තීන්දුව ලබුණයින් පස්සේ අපේ මේ ජනබල මෙහෙයුම පවත්වමු කියලා, ඒ අය කියන්නේ නඩු තීන්දුවෙන් ඉස්සෙල්ලා මේක තියන්න සුදුසු නැහැ, ඒ අය කියන්නේ අපි කරන්න ඉන්නේ මේක නඩු තීන්දුවෙන් පස්සේ කියලා, ඉතින් අපිත් තීරණය කළා මේක නඩු තීන්දුවෙන් පස්සේ කරමු කියලා."

අධිකරණය

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීම සහ මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත් කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන ජනවාරි මස 7 වන දා සිදුකරන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (10) ප්‍රකාශ කළේය.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කතානායක කරු ජයසූරිය අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් තවත් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, නීතිඥ අරුණ ලක්සිරි විසිනි.

තවත් පුවත්:

"පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා. එසේ තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමක්," තම පෙත්සම පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි බීබීසී සිංහල සේවයට පැවසුවේය.

නීතිඥවරයා තවදුරටත් පැවසුවේ, මෙම ක්‍රියාව තුළින් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් සිදුකර ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, මෙම ක්‍රියාව තුළින් සිදු කළ අපහාසය වෙනුවෙන් ඔහුට දඬුවම් පමුණුවන ලෙසත් මෙම පෙත්සම තුළින් තමා ඉල්ලා සිටි බවය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුව ද සඳුදා (10) සවස ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වීමට නියමිතය.

"තීන්දුව දෙන තුරු බලා සිටිනවා"

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් ට්විටර් පණිවුඩයක් පළ කරමින් පවසා ඇත්තේ, හිටපු නීති ශිෂ්‍යයෙකු ලෙස මේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමන් බලා සිටින බවය.

එම තීන්දුව ඉතිහාසයක් නිර්මාණය කරන දුර්ලභ තීන්දුවක් වනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

Skip Twitter post, 1
Twitter අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Twitter විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Twitter කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

End of Twitter post, 1