මන්නාරම සමූහ මිනීවළෙන් "බැඳ දමන ලද ආකාරයේ" තවත් අස්ථි කොටස් හමුවේ

BBC

මන්නාරම සමූහ මිනීවළ තුළින් මතු වූ මිනිස් අස්ථි අතර එකිනෙක යමකින් එක්ව සිටින ලෙස බැඳ තිබෙන ආකාරයක් පෙන්වන අස්ථි කොටස්, එකිනෙකට දුරස්ව ස්ථාන තුනක තිබී හමු වී තිබේ.

අඟහරුවාදා (නොවැ. 11) දින වන විට පැරණි සතොස ගොඩනැ.ගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් අතර මෙම එකිනෙක බැඳ දමන ලද ආකාරය දිස්වන අස්ථි කොටස් හමු වී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ තහවුරු කළේය.

එලෙස හමු වූ අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමු කර තිබේ.

මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට යමකින් බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටසක් පසුගිය දෙසැම්බර් 06 වන දින ද කැණීම් තුළින් හමුවිය.

ඒ ඒ අස්ථි කොටස් කිසියම් ලෝහයකින් හෝ වෙනත් යමකින් ගැට ගසා ඇති ද? එලෙස නොවන්නේ නම් එය ඔවුන් පැළඳ සිටි ආභරණයක් ද? නැතිනම් සිමෙන්ති වැනි බැඳීමක් ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

එලෙස සොයාගත් අස්ථි කොටස් එක්ස් කිරණ පරීක්ෂාවකට මූලිකව යොමු කිරීමට නියමිත බව ද හෙතෙම පැවසුවේය.

මේ ගැනත් දැනගන්න:

මිනිස් සිරුරු 276 කට අදාළ අස්ථි කොටස් අඟහරුවාදා (දෙසැ. 11) වන විට ක්‍රමානුකූලව මතු කර ගෙන තිබෙන අතර, ඉන් සිරුරු 269 කට අදාළ කොටස් කැණීම් භූමියෙන් ඉවත් කර ගැනීමට හැකි වී තිබේ.

මන්නාරම සමූහ මිනීවල

ඒ අතර ළමුන් 21 දෙනෙකුගේ යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමු වී කැණීම් භූමියෙන් ඉවත් කරගෙන ඇති බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.

පළමු හා දෙවන අදියර යටතේ වළ තුළින් පස් ඉවත් කර ඇති අතර, තවදුරටත් පරීක්ෂණ පවත්වන සීමාව පුළුල් කිරීමට අවශ්‍ය වනු ඇතැයි ද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

ගොඩගත් සිරුරු 269 ට අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ඒවා කාබන් පරීක්ෂාව සඳහා ෆ්ලෝරිඩාවේ කාබන් කාල නිර්ණය පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

පුරාවිද්‍යා, රජයේ රස පරීක්ෂක, අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ අඟහරුවාදා (11) වන විට දින 115 ක කාලයක් අදාළ ස්ථානයේ කැණීම් සිදුකර තිබේ.

මේ තුළ එක මත එක දැමූ අපිළිවෙළ අස්ථි කොටස් හමු වී ඇති අතර, තවමත් එම මරණයන්ට හේතු සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ද ‍වෛද්‍ය රාජපක්ෂ පැවසීය.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවගෙන් විමසීමේදී ඔහු පැවසූවේ, අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවත්ය.

ස්ථර තුනකට අදාළව අස්ථි කොටස් ‍තැන්පත් කොට තිබෙන අතර, පළමු ස්ථරයේ අස්ථි හමුවීමෙන් අනතුරුව වැලි මිශ්‍ර පස් තට්ටුවක් යොදා නැවත දෙවන ස්ථරයේ අස්ථි කොටස් පවතින බවත්, දෙවන ස්ථරය මතින් වැලි මිශ්‍ර පස් යොදා තෙවන ස්ථරය මත අස්ථි කොටස් පවතින බවට මූලිකව තහවුරු වන බව ද හෙතෙම පැවසුවේය.

2018 මාර්තු 26 වන දින මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව, එම ස්ථානයෙන් ඉවත් කළ පස් ගොඩක තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවිය.

ඒ සම්බන්ධයෙන් පොලීසිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් 2018 මැයි 28 වන දින ආරම්භ කරනු ලැබීය.

2018 ජුලි 12 දින වනවිට පුද්ගල සිරුරු 39කට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ තහවුරු කළේය.

2018 ජුලි 30 කුඩා දරුවෙකුට අයත් යැයි සැලකෙන අස්ථි කොටස් වැඩිහිටියෙකුගේ අස්ථි කොටස් සමග හමුවිය. ඒ සමග මිනිස් සිරුරු 60 කට අදාළ හිස් කබල් කොටස් හා අස්ථි කොටස් පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබූ බව වාර්තා විය.

අස්ථි කොටස් ෆ්ලොරිඩාවට රැගෙන ගොස් කාබන් නිර්ණය කිරීමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබාදේ.

2018 ඔක්තෝබර් 15 දින වන විට සොයාගත් මිනිස් සිරුරු 180 ක අස්ථි කැබලි අතරින් සිරුරු 174 කට අදාළ අස්ථි කොටස් ඉවත් කර‍ ගැනීමට හැකි වූ බව වාර්තා විය.