ජනාධිපතිවරණය: පළමු ඡන්දය ගැන තරුණ තරුණියන්ගේ අදහස්

Sri Lanka presidential elections 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයට අනුවය.

එබැවින් 2018 ජුනි 01 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පුර්ණ කළ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් මෙවර ජනධිපතිවරණයේ දී සිය පළමු ඡන්දය භාවිත කරති.

සිය ඡන්දයට වටිනාකමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ නිර්ණායක ඔස්සේ සලකා බලන බව මෙවර පළමු වරට සිය ඡන්දය භාවිත කරන බව තරුණ, තරුණියන් පිරිසක් බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියහ.

එහිදී ජාතික ආරක්ෂාව, ආර්ථිකය ශක්තිමත් කිරීම, රට තුළ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සහ දේශීය සම්පත් ආරක්ෂා කිරීම වැනි නිර්ණායක කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව ඔවුහු පවසති.

''අපේ අනාගතය සුරක්ෂිත කරගන්න පුළුවන්, අපෙන් පසුව එන අයට මේක අපේ රට කියල අභිමානයෙන් කියන්න පුළුවන්, කොන්දක් තියෙන නායකයෙක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේ කෙනෙකුට තමයි මගේ මංගල ඡන්ද දෙන්නේ,'' යනුවෙන් ගාල්ලේ පදිංචි අමාති මදුෂිකා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

වීඩියෝ ශීර්ෂ වැකිය, තරුණ තරුණියන්ගේ අදහස්

මරදානේ සුබුද්ධි වීරකෝන් කියා සිටියේ "රට සංවර්ධනය කළ හැකි, දැඩි නීතිරීති තියෙන නායකයෙකුට" සිය මනාපය හිමිවන බවය.

මේ පිළිබඳව අදහස් දැක්වීමට කඩුවෙල සජිත් තේජාන් ද එක්විය. ඔහුගේ අදහස වී තිබෙන්නේ පසුගාමී ආකල්පවලින් තොර, සොරකම් නොකරන අයෙකු වෙනුවෙන් තම පළමු ඡන්දය භාවිත කරන බවය.

''මම කැමති ධනපතියාගේ ඉඳලා නිර්ධන පන්තිකයා වෙනකම් හිතල තීරණ ගන්න කෙනෙකුට. විශේෂයෙන් රටේ තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්, අධ්‍යාපන ප්‍රශ්න විසඳන්න පුළුවන් කෙනෙකුට තමයි මගේ මනාපය,'' යනුවෙන් අම්බලන්ගොඩ පදිංචි ෂර්මි මැන්ඩිස් පැවසුවාය. ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල වාසය කරන තරුණ තරුණියන් පිරිසක් එලෙස බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූහ.

2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත

ඡායාරූප මූලාශ්‍රය, ELECTION COMMISSION OF SRI LANKA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත
2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත

ඡායාරූප මූලාශ්‍රය, ELECTION COMMISSION OF SRI LANKA

ඡායාරූප ශීර්ෂ වැකිය, 2018 වසරේ ලියාපදිංචි ඡන්ද හිමි නාමලේඛනයේ දත්ත

ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතියට අනුකූලව සිය නම, ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කිරීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ වීම පමණක් ප්‍රමාණවත් නොවේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ සඳහා පහත සඳහන් මූලික සුදුසුකම් මෙන්ම ව්‍යවස්ථාපිත සුදුසුකම් ද සපුරා තිබිය යුතු බවය.

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.
  • ජුනි 01 දිනට වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
  • ලියාපදිංචි වීමට අපේක්ෂා කරන ස්ථානයේ සාමාන්‍ය පදිංචිය තිබීම.
  • සිහිවිකල් බවට අධිකරණයක තීරණය වී නොතිබීම.
  • අවුරුදු 2ක් සිරගත වීමට නියම වන වරදකට, වරදකරු වී මාස 06ක් හෝ ඊට වැඩි කාලයක් සිරගතව සිටියේ නම් ඉන්පසු අවුරුදු 7ක කාලයක් ගතවී තිබීම.
  • අල්ලස් චෝදනාවකට වරදකරු වීනම් එයින් අවුරුදු 7ක කාලයක් ගත වී තිබීම.
  • ප්‍රජා අශක්නුතාවකට යටත්වී එම කාලසීමාව අවසන්ව තිබීම.

මීට අමතරව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, මහජන ආයතන (දූෂණ වැළැක්වීමේ) ආඥාපනත යටතේ වරදකරු වී සිටීම, මැතිවරණවලදී දූෂණ ක්‍රියා, නීති විරෝධී ක්‍රියා ආදියට වරදකරු වී තිබීම ආදී වශයෙන් තවත් නුසුදුසුකම් ඇති බව ද ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සංඛ්‍යාලේඛන අනුව මිලියන 16 කට ආසන්න ඡන්දදායකයන් පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

තවත් කියවන්න: