ශ්‍රී ලංකාව: කොවිඩ් 19 අතර "ගැට ගැසෙන" ජීවිත

  • දැහැමි රණවීර
  • බීබීසී සිංහල
Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග සෞඛ්‍ය සේවකයන්, රෝගීන් මෙන්ම මහජනතාව මුහුණ දෙන විවිධ අපහසුතා පිළිබඳ බීබීසී සිංහල සේවයට තොරතුරු දැනගැනීමට ලැබිණි.

සෞඛ්‍ය සේවකයන්, සේවා, පහසුකම්, අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට ඇති අපහසුතා මෙන්ම පරීක්ෂණවල දී සිදුවන ප්‍රමාදයන් සහ අඩුපාඩු නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට මහජනතාවට සිදු වී තිබේ.

එවන් අවස්ථා ගැන සමාජ මාධ්‍ය ජාලවල ද විවිධ සටහන් පළ වෙමින් තිබේ.

'රෝග ලක්ෂණ තිබුණත් රස්සාවට යන්න වෙනවා'

"මට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇති වුණාට පස්සේ පීසීආර් ටෙස්ට් එකට දිනයක් ලැබුණේ දවස් හතරකින්. ලොකුම ප්‍රශ්නය වුණේ ටෙස්ට් එකේ රිසාල්ට් එක එනකම් රැකියා ස්ථානයෙන් නිවාඩු නොලැබුණු එක. රෝග ලක්ෂණ එක්කත් මට රස්සාවට යන්න වුණා. අවසානයේ ටෙස්ට් එක පොසිටිව්. ඔෆිස් එකේ මගේ වටේ හිටිය හැමෝටමත් ගිහින්," වත්තල ප්‍රදේශයේ දිවිගෙවන කාන්තාවක බීබීසී සිංහල සේවයට පැවසීය.

"රැකියා ස්ථානවල සේවකයන් ගැන විශ්වාස තබන්නේ නැහැ. කිසිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නැහැ, වෛරසය වැළඳුණ අය සම්බන්ධයෙන් විශේෂ නීති රීති මාලාවකුත් නැහැ. ටෙස්ට් එකේ ප්‍රතිඵල නැතුව, රෝග ලක්ෂණ විතරක් තියෙනවා කියලා ගෙදර නැවතුනොත් රස්සාව නැහැ. මේක නම් අවුල් ජාලයක් වුණ රටක්," ඇය තවදුරටත් පැවසීය.

මේ හා සමාන තවත් සිද්ධීන් කීපයක් ගැන තොරතුරු ලැබුණු අතර, එක්තරා රාජ්‍ය ආයතනයක ද කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්වූ පුද්ගලයන් රැකියාවට පැමිණීම නිසා එහි සිටි සේවකයන් සියල්ලටම පාහේ රෝගය බෝවී තිබේ. "කඩිනමින් නිසි පියවර නොගැනීම නිසා" මේ වන විට එම ආයතනය වසා දැමීමට ද සිදුව ඇතැයි එක් සේවිකාවක පැවසීය.

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

එදිනෙදා ජීවිතය සමග බැටකන මිනිස්සු

කැළණි ගඟ මිටියාවතේ දිවිගෙවන කරුණා පෙරේරා පැවසුවේ රට තුළ ඇති වී තිබෙන තත්ත්වය සමග ඔවුන්ට එදිනෙදා දිවි පෙවත "ගැටගසා ගැනීමට" අවශ්‍ය මුදල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව ඇති බවය.

"අපි කුලී වැඩ කරන්නේ. දැන් කිසිම ආදායමක් නැහැ. අහස උසට ණය වෙලා. ඒ වගේම තමයි අපිට දරන්න බැරි තරමට බඩු මිල වැඩි වෙලා. හැමදාම බොන්න ඕනේ බෙහෙත් වර්ග පවා සියයට පනහකින් විතර වැඩි වෙලා. ඒවත් එක සැරේ සොයා ගන්න නැහැ. මෙහෙම ගියොත් කොරෝනාවලට කලින් අපි නිකම්ම මැරිලා යයි," ඇය හැගීම්බරව පැවසුවාය.

රෝගීන් ප්‍රවාහනය ගැන සමාජ මාධ්‍ය ජාල සටහන්

මේ අතර, කොවිඩ් 19 රෝගීන් කැබ් රථයක පිටුපස නංවාගෙන නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවලට රැගෙන ගිය සිද්ධියක් පිළිබඳ මාධ්‍යවේදී නයන සංජීව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබිණි.

covid situation

ඡායාරූප මූලාශ්‍රය, Facebook/NayanaSanjeewa

"මෙහි දක්වා ඇත්තේ ඊයේ රාත්‍රීයේ දෙහිඅත්තකණ්ඩිය MOH කාර්යාලය මඟින් කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල සිට තාවකාලික රැඳවුම් මධ්‍යස්‌ථානවලට රැගෙන ආ ආකාරයයි.

දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, අවට ඇති යුද හමුදා කඳවුරු සියල්ල විසින් කොවිඩ් 19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා කිසිම සහයෝගයක් ලබා නොදීම නිසා මෙම පෝස්ට් එක මෙසේ එකක් පළ කිරීමට සිදුවිය.

අවම වශයෙන් එම ආයතනවල බලධාරීන් MOH කාර්යාලයේ දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇත. සම්පූර්ණ PPH ඇඳුම් කට්ටල ලබා දුන්නත් එලෙස සහයෝගය ලබා දීමට ඉදිරිපත් නොවේ.

එනිසා රාත්‍රිය පුරා නොයෙක් පැතිවල නිවාසවල සිටින රෝගීන් 60ක් පමණ MOH කැබ් රථයේ පිටුපස නංවාගෙන තාවකාලික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට සිදුවිය.

ගමන් වාර ගණනාවක් මෙලෙස ප්‍රවාහනය කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයක් ලබා දුන්නෙ නම් ඉතා පහසුවෙන් මෙය කළ හැකිව තිබිණි. මෙයට දායක වූ කාර්යය මණ්ඩලය අදත් උදේ සිටම වැඩ කළ යුතුය. ඉරිදා කියා නිවාඩු ගෙන බැරිය," යැයි නයන සංජීව සටහන් කර තිබිණි.

මෙයට පිළිතුරු ලබා දෙමින් දෙහිඅත්තකන්ඩිය MOH කාර්යාල ෆේස්බුක් පිටුවේ මෙලෙස සඳහන් විය.

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Facebook/MOHofficeDeiattakandiya

මේ පිළිබඳ යුධ හමුදා මාධ්‍ය අංශයෙන් සිදු කළ විමසීමක දී පැවසුවේ නිසි අංශ වෙත මෙම කරුණු සන්නිවේදනය වී නොතිබුණු නමුත්, කෙටි වේලාවක දී ඇතිව තිබු ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කළ බවය.

මේ තොරතුරු ද කියවන්න:

"නියම තත්ත්වය භයානකයි"

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ,

"කොවිඩ් 19 පළමු සහ දෙවෙනි රැල්ලේ වගේම, මෙවරත් කණගාටුදායක විදිහට රසායනාගාර පරීක්ෂණවල වාර්තා ලැබීම්වල විශාල වශයෙන් ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා. මේ වන විට එක් දිනක් තුළ වාර්තා කරන රෝගීන් ගණන, ඇත්තටම දින තුනකට හෝ ඊට කලින් වාර්තා විය යුතු රෝගීන් ගණනයි.

රටේ පවතින නියම තත්ත්වය මේ රෝගීන් ගණනින් බලනවා නම් එය අපි මවා ගන්න වැරදි චිත්‍රයක්. පවතින නියම තත්ත්වය වටහා ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණ කඩිනම් කරන ලෙස අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා.

රටේ නියම තත්ත්වය රසායනාගාර වාර්තා සහ රෝගීන් දත්ත වලට වඩා භයානක බව තමයි අපිට පේන්න තියෙන්නෙ."

ඇති වී තිබෙන තත්ත්වයට වඩාත් හේතු වී තිබෙන්නේ මහජනතාවගේ සංචරණය වන අතර, අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී, ජනතාව ඒකරාශි වන ස්ථාන මගහැර සිටින ලෙස සභාපතිවරයා ඉල්ලීමක්ද කළේය.

"සහයෝගයක් නැහැ"

ස්වයං නිරෝධායනයට යොමු වූ බියගම ප්‍රදේශයේ දිවි ගෙවන පස් දෙනෙකුගෙන් යුතු පවුලක් බීබීසී සිංහල සේවයට පැවසුවේ තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ගෙන්වා ගැනීමේ දී නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවය.

"අපේ ගෙදර එක්කෙනෙකුට කොවිඩ් හැදිලා ඉන්නේ. අනෙක් අය නිරෝධායනයට යොමු වෙලා ඉන්නේ. ළඟපාත කිසිම කඩේකින් අපේ ගෙදරට කෑම, බඩු ඩිලිවර් කරන්නේ නැහැ. ගමේ අය ගේ ඉස්සරහින් යන්නත් බයයි.

මේ රටේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා කියලා වගකිව යුතු ආයතන කීයක් තියෙනවා ද? ඒවායින් මොනවා ද වෙන සේවය? පිටරටවල නිරෝධායනය වෙන මිනිස්සුන්ට ඒ පළාතේ අදාළ රජයේ ආයතනයෙන් උදව් කරනවා. නමුත් අපි ජීවිත කාලයම හිර වෙලා ඉන්නේ මේ මඩගොහොරු සිස්ටම් එකේ," ඔවුහු පැවසූහ.

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"රෝහල් පිරීගෙන යනවා"

අඟහරුවාදා (මැයි 4) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ,

"අපිට පේනවා රෝගීන් පාලනයකින් තොරව වැඩිවෙමින් යන විත්තිය. රෝගීන් 1800 කට වැඩි ගණනක් දවසක ට හඳුනා ගන්න කොට, අපි දන්නවා මීට දෙගුණයක් හෝ තෙගුණයකට වැඩි ප්‍රමාණයක් සමාජයේ ඉන්නා බව.

රෝගීන්ට ලබාදෙන ඇඳන් දැඩි සත්කාර ඒකක පහසුකම් ඉතා සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතිනවා.

මේ වෙලාවේ රෝගීන් ගෙනයාමේ අපහසුතා ඇති වෙලා තිබෙනවා. රෝගීන් ගෙවල්වල බලා ගැනීමට සිදු වෙලා තිබෙනවා. එවන් අවස්ථාවක දී රෝගියා නිවසේ වෙන් කර තැබීමත්, නිවසේ සිටින අය මුඛ ආවරණ පැළඳීමත්, රෝගියාට අවශ්‍යය පැරසිටමෝල් වැනි ප්‍රතිකාරත්, විජලනය නොවී සිටීමට අදාළ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා.

රෝහල් ඉතා වේගයෙන් පිරී යන නිසා උපරිම ලෙස සංචරණ සීමා යොදා රෝගය පාලනය කිරීමට පියවර ගත යුතුයි කියන මතයේ ‍ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉන්නවා," යැයි සභාපතිනිය තවදුරටත් පැවසීය.

මේ අතර, අයිඩීඑච් උණ රෝහල, කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයන් පවසන්නේ රෝහල් පිරී යාමත්, සේවකයන් මදිකමත් නිසා රෝහල් තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් පවතින බවය.

"ඇඳන් වැඩි කිරීමට පියවර ගත්තා" - රජය

"සෞඛ්‍ය අංශ මෙන්ම ජනාධිපති කාර්ය සාධන බලකාය ක්‍රමානුකූලව හා ශක්තිමත් ලෙසින් කොවිඩ් පාලනයට ප්‍රවිශ්ඨ වී" ඇතැයි අඟහරුවාදා ( මැයි 04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

Coronavirus in Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කෙටි කාලයක් ඇතුළත රෝහල්වල ඇඳන් ප්‍රමාණය 4000-5000කින් වැඩි කර ඇති අතර, දැඩි සත්කාර ඒකකවල ඇඳන් ද ඉදිරි දින කීපය තුළ වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවලින් ලැබෙන සහයෝගය වගේම ජනතාවගෙන් ද මෙයට සහයෝගය අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසුවේය.

පීසීආර් පරීක්ෂණය මගින් තහවුරු වූ කොවිඩ් 19 රෝගීන් නිවෙස්වල වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට 1906 යනුවෙන් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, රෝගීන් වහාම රෝහල් කරා ගෙන යාමේ වැඩ පිළිවෙළ මේ වන විට ආරම්භ වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජනගහණය සඳහා අවශ්‍ය පූර්ණ එන්නත් ප්‍රමාණය ලබා දීමට හැකි බවට රජය සහතික වන බවත්, මෙම වසර ඇතුළත මෙරට ජනගහණයෙන් 63%කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට රජයට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි අඟහරුවාදා (මැයි 04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

තවත් තොරතුරු: