"අපේ මිතුරෝ අපිව පාවා දුන්නා" - මැ. කො. සභාපති

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "සමහර විට සභාපති හැටියට සහභාගිවන අවසාන රැස්වීම (මාධ්‍ය) මේක වෙන්න පුළුවන්"

මෙවර ජනාධිපතිවරණයට අදාළ තම නිල කටයුතු අවසන් වීමෙන් අනතුරුව තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

"සමහර විට සභාපති හැටියට සහභාගිවන අවසාන රැස්වීම (මාධ්‍ය) මේක වෙන්න පුළුවන්." ඔහු පැවසීය.

මෙම ජනාධිපතිවරණ සමයේ දී ඇතැම් විට "තදින් කතාකිරීමට" සිදුවීම හේතුවෙන් කිසිවෙකුගේ හිත රිදීමක් සිදුවුයේ නම් සමාව ඉල්ලා සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතරතුර ජනාධිපතිවරණ සමය තුළ ඇතැම් මාධ්‍ය ආයතන හැසිරුණු ආකාරය පිළිබඳව සිය අසතුට ද ප්‍රකාශ කළේය.

මාධ්‍ය උපමානවලට අනුකූලව "අපේ මිත්‍ර පෞද්ගලික මාධ්‍ය දෙකත්, රාජ්‍ය මාධ්‍යයත්" හැසුරුණේ නම් මෙම ජනාධිපතිවරණය "මීට වඩා හොඳට කරන්නට" තිබුණු බව මහින්ද දේශප්‍රිය අවධාරණය කළේය.

"අපේ මිතුරෝ අපිව පාවා දුන්නා කියල කියන්න පුළුවන්. ඒ මාධ්‍ය ආයතන මැතිවරණ කොමිෂන් සභාව සමඟ ඇතිකරගත් එකඟතාව කඩ කළා."

ඔහු මෙම ප්‍රකාශය කළේ අද පැවති මාධ්‍ය හමුවකදී ය.

"වේදිකාවට ආගම ඇදගෙන ඒම"

මෙවර ජනාධිපතිවරණයේ දී "වේදිකාවට ආගම ඇදගෙන ඒම" මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ දැඩි විවේචනයට ලක් විය.

කියවන්න:

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු නිහඬ කාලය තුළ ඇතැම් "අති ගෞරවනීය පුජ්‍ය පූජක උතුමන් වහන්සේලා" කටයුතු කළ ආකාරය ගැන ලැබුණු පැමිණිලි පිළිබඳව පසුව හෙළිදරව් කරන බව සභාපතිවරයා මෙහිදී පැවසීය.

"ආගම, දේශපාලනයෙන් ඉවත් කර තබන ලෙස" දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.

නමුත් යුද හමුදාව සහ පොලිසිය දේශපාලනයෙන් ඈත් කර තැබීමට මෙවර හැකියාවක් ලැබී ඇති බවත් ඔවුන් එවැනි වරදක් කිරීමට කිසිදු උත්සාහය නොකිරීම සතුටට හේතුවක් බව ද ඔහු කියා සිටියේය.