කොවිඩ්: ඉන්දියාව නැවත එන්නත් අපනයනය ආරම්භ කරයි

An employee in protective gear works on an assembly line for manufacturing vials of Covishield, AstraZeneca-Oxford's Covid-19 coronavirus vaccine at India's Serum Institute in Pune

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රටතුළ එන්නත් කිරීමේ වැඩසටහන සඳහා ඉන්දියාව ඔක්තෝබර් මාසයේදී මාත්‍රා මිලියන 300 කට වඩා නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ

ඔක්තෝබර් මාසයේ සිට ඉන්දියාව කොවිඩ් එන්නත් අපනයනය නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මන්සුක් මාන්දවියා පැවසීය.

ආසාදන ඉහළ යාමත් සමඟ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා, ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා, අප්‍රේල් මාසයේදී අපනයන නැවැත්වීය.

එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් හතරේ රාජ්‍ය නායකයින්ගේ සමුළුවක් සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා එක්සත් ජනපදයේ වොෂිංටන් නුවරට පැමිණෙන අතරේදී මෙම නිවේදනය නිකුත් කෙරිණ.

එන්නත් අපනයනය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කිරීමට ඉඩ ඇති බවට බලධාරීන් පැවසිය.

රට තුළ එන්නත් කිරීමේ වැඩසටහන සඳහා ඉන්දියාවේ එන්නත් නිපදවන්නන් ඔක්තෝම්බර් මාසයේදී "මාත්‍රා මිලියන 300 කට වඩා නිෂ්පාදනය කරනු ඇතැයි" අපේක්ෂා කරන බවත් අතිරික්තය කොවිඩ් -19 ට එරෙහි ගෝලීය සටන වෙනුවෙන් වෙනත් රටවලට යැවීමට කටයුතු කරන බවත් අමාත්‍ය මාන්දවියා පැවසීය.

"අපි ලෝකයට උදව් කරනවා, කොවැක්ස් වැඩසටහන තුළින් අපි අපේ වගකීම ද ඉටු කරනවා," යනුවෙන් ඔහු සඳුදා වාර්තාකරුවන්ට පැවසීය.

කෝවැක්ස් යනු ගෝලීය එන්නත් සන්ධානය (Global Vaccine Alliance (Gavi)), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ වසංගත රෝග සඳහා සූදානම් වීමේ නවෝත්පාදනයන් (Coalition for Epidemic Preparedness Innovations (CEPI)) විසින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් සියලුම රටවලට කොවිඩ් එන්නත් ලබා දීම අරමුණු කරගත් බහුපාර්ශ්විය වැඩසටහනකි.

මෙම මාසයේදී දේශීය නිෂ්පාදකයින්ගෙන් එන්නත් මාත්‍රා මිලියන 260 ක් රජයට ලැබීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මන්දාවියා පැවසීය.

"නිෂ්පාදනය තවදුරටත් ඉහළ යනු ඇත. ජීව විද්‍යාත්මක ඊ (එක්සත් ජනපදය පදනම් කරගත් ඩයිනාවැක්ස් සහ බේලර් වෛද්‍ය විද්‍යාලය සමඟ එක්ව සංවර්ධනය කරන ලද කොවිඩ් එන්නතක්) සහ අනෙකුත් නිෂ්පාදකයින්ගේ එන්නත් ද වෙළෙඳපොළට එනු ඇත," ඔහු පැවසීය.

2021 අවසානය වන විට ඉන්දියාව එරට වැඩිහිටි ජනගහනයට එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත. ජනවාරි මාසයේදී එන්නත් කිරීමේ වැඩ සටහන ආරම්භයේ සිට එරට අනුමත කළ එන්නත් වර්ග තුනෙන්ම මේ දක්වා මිලියන 818 කට වැඩි මාත්‍රා ප්‍රමාණයක් ලබා දී ඇත.

සිකුරාදා වාර්තාගත මාත්‍රා මිලියන 20 ක් එන්නත්කරණය කළේය - ඒ, අගෝස්තු 27 වන දින එතෙක් වාර්තාගත එක් දිනකදී එන්නත් කරන ලද ප්‍රමාණය වන මිලියන 13 අභිබවා යමිනි.

මේ වන විට මිලියන 609 කට වැඩි ප්‍රමාණයක් - එනම් ඉන්දියාවේ සුදුසුකම් ලත් ජනගහනයෙන් හරි අඩකටත් වඩා - අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත. මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ එරට සුදුසුකම් ලත් වැඩිහිටියන්ගෙන් 21% ක් පමණි.

අප්‍රේල් මාසයේදී හටගත් විනාශකාරී දෙවෙනි ආසාදන රැල්ල හේතුවෙන් ඉන්දියාව අපනයන නැවැත්වීමෙන් පසු සහ රජයේ එන්නත් අපනයනය අත්හිටුවමින් පැනවූ නියෝග හේතුවෙන් බොහෝ රටවල්, විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවලට එන්නත් ලබා ගැනීම සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

තහනම ක්‍රියාත්මක වීමට පෙර ඉන්දියාව රටවල් 76 කට මිලියන 60 කට වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර, ඉන් බහුතරය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා , කොවිෂීල්ඩ් එන්නත ය.

Presentational grey line